Wednesday, 16 January 2019

“ඇම්බැක්කේ දේවාලය”

“ඇම්බැක්කේ දේවාලය”



■ ගම්පොළ යුගයේ ඉදිවූ ඇම්බැක්ක දේවාලය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර මැද පළාත කෝරළයේ පිහිටා ඇත. 

■ 14 වන ශත වර්ෂයේ රජ කළ තුන් වන වික්‍රමබාහු රජ දවස දෙල්මඩ මූලාචාරී සහ ඔහුගේ ගෝලයින් විසින් මෙම දේවාලයේ නිර්මාණ කටයුතු කර ඇත.

■ ජනප්‍රවාදයේ එන පරිදි බෙර වයන්නෙකු දුටු සිහිනයක ප්‍රතිඵලයක් ලෙස කතරගම දෙවියන් උදෙසා ඇම්බැක්ක දේවාලය නිර්මාණය කළ බව සඳහන් වේ.

■ ඇම්බැක්ක දේවාලයේ සුවිශේෂ වූ පියස්ස, පරාල 26ක් එක් ලී ඇණයකට සම්බන්ධ කර නිර්මාණය කර ඇති ගෘහ නිර්මාණාත්මක අංගය මඩොල් කුරුපාව නමින් හඳුන්වයි. මෙය හෙළ  කලාකරුවාගේ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය පෙන්නුම් කරන්නකි.


■ ඇම්බැක්ක දේවාලයේ වාස්තු විද්‍යාත්මක සැලැස්ම වාහල්කඩ මණ්ඩපය, දිග්ගෙය, ගර්භ ගෘහය යන අංගවලින් සමන්විත වේ. වාහල්කඩ මණ්ඩපයෙහි හා දිග්ගෙයි ඇති ලී කණු මත කැටයම් නිර්මාණ දැක ගත හැකි ය. 

      වාහල්කඩ මණ්ඩපය:
මෙහි ලී කණු 10 කි.
සෑම කණුවක ම සිව්රැස් පනේල සතර බැගින් දක්නට ඇත. ඒ අනුව පනේල කැටයම් 40කි.

  දිග්ගෙය :
−  මෙහි ලී කණු 32 කි. සෑම කණුවකම සිව්රැස් පනේල සතර බැගින් ඇත.
−  මෙහි කැටයම් සංඛ්‍යාව 128 කි.

 ■ ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් ගම්මාලු හා පිහිඹියා දැවයෙන් අල්ප උන්නත නෙළීමේ ශිල්ප ක්‍රමයට නිර්මාණය කර ඇත.

ප්‍රධාන තේමා 5ක් යටතේ කැටයම් නිර්මාණ හඳුනාගත හැකි ය.

1. කල්පිත සත්ත්ව මෝස්තර
2. සත්ත්ව මෝස්තර
3. ජන ජීවිතය හා සම්බන්ධ කැටයම්
4. වාටි මෝස්තර  (ලීස්තර )
5. මල්කම් හා ලියකම්

 ■ පාරම්පරික සිංහල සැරසිලි මෝස්තර අතර දැකිය හැකි සුවිශේෂී කල්පිත මෝස්තර නිර්මාණ බොහොමයක් ඇම්බැක්ක දේවාලයේ පනේල ලී කැටයම් අතර දැක ගත හැකි ය. පහතින් දැක්වෙන්නේ කලාත්මක ලක්ෂණයන්ගෙන් යුතු කල්පිත හා සත්ත්ව නිර්මාණ කිහිපයකි.

− භේරුණ්ඩ පක්ෂියා − කිඳුරු රූපය
− ඇත්කඳ ලිහිණියා − නාරිලතා
− සැරපෙන්දියා − හංස පූට්ටුව
− වෘෂභ කුංඤ්ඡය    − සිංහයා

− භේරුණ්ඩ පක්ෂියා




















− කිඳුරු රූපය



− වෘෂභ කුංඤ්ඡය  


 - හංස පූට්ටුව









■   ඇම්බැක්ක දේවාල ලී කැටයම් අතර සුවිශේෂී නිර්මාණ වශයෙන් සැලකෙනුයේ සමකාලීන සමාජ ජීවිතය සම්බන්ධ අවස්ථා නිරූපණය කරන කැටයම් ය. පහත සඳහන් වන එම නිර්මාණ කිහිපයකි.

− රබන් වයන්නා   
− මල්ලව පොරය
− අශ්වාරෝහකයා   
− නළඟන
− හේවායා   
− දරුවාට කිරි පොවන මව




■   ඉහත දක්වන ලද සියලු නිර්මාණ පනේල මධ්‍යයේ කැටයම් වූ අතර පනේල වටා වූ වාටි මෝස්තර (ලීස්තර) සඳහා නිර්ජීවි හා උද්භිත සැරසිලි මෝස්තර යොදා ඇත. 

මේ සඳහා අරිම්බුව, ගල් බිංදුව හා කුන්දිරික්කන් වැනි නිර්ජීවි මෝස්තර ද,  නෙළුම් මල් හා ලියවැල් උද්භිත මෝස්තර ද නිර්මාණ ලෙස භාවිත කර ඇත.





Saturday, 20 October 2018

  එස්. පී. චාර්ල්ස්

1916 මාතර වැලිගම උපත ලත් එස්. පී. චාර්ල්ස් කොක්මාදුවේ නානායක්කාර ශිල්පියා යටතේ මූලික ව චිත්‍ර කලාව ප්‍රගුණ කර ඇත. පාරම්පරික බෞද්ධ සිතුවම් පිටපත් කිරීම හා එහි උන්නතිය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ ශිල්පියෙකි.  එස්. පී. චාර්ල්ස් 1944 දී කොළඹ කාර්මික විදුහලේ චිත්‍ර අංශයේ ජේ. ඩී. ඒ. පෙරේරා යටතේ අධ්‍යාපනය ලැබූවෙකි.

ශ්‍රී ලංකා රජයේ ජාතික කොඩිය හා පාර්ලිමේන්තුවේ සංකේතය වන සෙංකෝලය යන නිර්මාණ සඳහා ඔහුගෙන් ලද දායකත්වය ඉතා විශිෂ්ඨ වේ.



ජාතික කොඩිය

වර්තමාන ජාතික කොඩිය වශයෙන් භාවිත කරන තීරු සහිත කොඩිය 1949 නිර්මාණය කරන ලද්දකි. ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය හා අභිමානය පිළිබිඹු කරන ලෙස ජාතික සංකේත භාවිත කරමින් කරන ලද නිර්මාණයකි. 

ජාතික කොඩියේ වර්ණ හා සංකේත මගින් පිළිබිඹු කරන අර්ථ නිරූපණය 


  • කඩුව අතින් ගත් සිංහයා - තේජස හා උත්තරීතරභාවය
  • අසිපත - පරමාධිපත්‍යය
  • බෝකොළ සතර - සතර බ්‍රහ්ම විහරණ (මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා)
  • රඹපාට තීරුව - ද්‍රවිඩ ජනතාව
  • කොළපාට තීරුව - මුස්ලිම් ජනතාව
  • තද රතුපාට පසුබිම - සිංහල ජනතාව

සෙංකෝලය





සෙංකෝලය පාර්ලිමේන්තුව තුළ කතානායකවරයාගේ අධිකාරී බලය සංකේතවත් කරයි. එමෙන් ම එය සමස්ථ මන්ත්‍රී මණ්ඩලයේ බලතල පිළිබඳ සංකේතයක් ද වෙයි. සෙංකෝලය යන්න බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව 1949 දී මෙරට පාර්ලිමේන්තුවට හඳුන්වා දෙන ලද්දකි. මෙම සෙංකෝලයේ සැලසුම නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවනුයේ එස්. පී. චාර්ල්ස් ශූරීන්ට ය.


1947 එස්. පී. චාර්ල්ස් විසින් අඳින ලද සැලසුම් අනුව මෙම සෙංකෝලය නිර්මාණය කරන ලද්දේ බි්‍රතාන්‍ය රාජකීය ආභරණ නිෂ්පාදන සමාගමක් විසිනි. සෙංකෝලය සැලසුම් නිර්මාණය කිරීමේ දී දේශීය අනන්‍යතාව මනාව ප්‍රදර්ශනය කරන සාම්ප්‍රදායික සැරසිලි රටා හා ආකෘති භාවිත කර තිබේ. සෙංකෝලය දිගින් සෙ.මි 122 ක් වන අතර මෙම නිර්මාණය සඳහා රන් රදී මැණික් මෙන් ම මිට සාදා ගැනීම සඳහා කළුවර ලී භාවිත කොට ඇති බව දැකිය හැකි ය. කළුවර ලීයෙන් තැනූ මිට මධ්‍යයේ බිනර මල හා පලා පෙති රටාවලින් අලංකාර කර ඇත.  කළුවර මිටට ඉහළින් පොළොන්නරු සම්ප්‍රදාය අනුව රන් හා රිදියෙන් කළ කුළුණු හිසකි. එහි මුල මැණික් ඔබ්බවා ඇති මුතු දැල් රටාවකි. කුළුණු හිස මත මහනුවර සම්ප්‍රදාය අනුව රිදියෙන් කළ නෙළුම් මල සහිත පේකඩයකි. (එය හිඳගල විහාරයේ පේකඩවල ආභාෂය සහිත වේ.)


පේකඩයට පසු රිදියෙන් කළ ඝනකයකි. එහි සිව් පස සදාකාලිකත්වය, සාධාරණත්වය, සෞභාග්‍යය සංකේතවත් කරමින් ඉර, හඳ, ධර්ම චක්‍රය හා පුන්කලස ද කැටයම් කර ඇත. ඝනකය මත සෙංකෝලයේ ප්‍රධාන කොටස වන රිදයෙන් කළ සෙ. මී. 15ක් විශ්කම්භයෙන් යුතු ගෝලයකි. එ මතු පිට කඩුවක් අතින් ගත් සිංහරුවක් අල්ප උන්නත ව නිර්මාණය කර ඇත. ගෝලයේ ඉහළ හා පහළ රිදියෙන් හා රනින් කළ පලා පෙති (නෙළුම් පෙති) රටාවකි. ඊට ඉහළින් කේතුකාකාර අටැස් පළිඟූවකි. එය චෛත්‍යයක කොත මුදුනේ ඇති චූඩා මාණික්‍ය හැඩය ගනියි. එය නිර්මලත්වය හා උත්තරීතර බව සංකේතවත් කරයි.


මෙවැනි ස්වරූපයක් සහිත සෙංකෝලය සිංහල රාජ සභාවේ දී භාවිත කළ යෂ්ඨිය, සෝළු ලීය, ලීලා දණ්ඩය යන නම්වලින් හැඳින් වූ නිර්මාණයට සමාන වේ.