Saturday, 20 October 2018

  එස්. පී. චාර්ල්ස්

1916 මාතර වැලිගම උපත ලත් එස්. පී. චාර්ල්ස් කොක්මාදුවේ නානායක්කාර ශිල්පියා යටතේ මූලික ව චිත්‍ර කලාව ප්‍රගුණ කර ඇත. පාරම්පරික බෞද්ධ සිතුවම් පිටපත් කිරීම හා එහි උන්නතිය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ ශිල්පියෙකි.  එස්. පී. චාර්ල්ස් 1944 දී කොළඹ කාර්මික විදුහලේ චිත්‍ර අංශයේ ජේ. ඩී. ඒ. පෙරේරා යටතේ අධ්‍යාපනය ලැබූවෙකි.

ශ්‍රී ලංකා රජයේ ජාතික කොඩිය හා පාර්ලිමේන්තුවේ සංකේතය වන සෙංකෝලය යන නිර්මාණ සඳහා ඔහුගෙන් ලද දායකත්වය ඉතා විශිෂ්ඨ වේ.



ජාතික කොඩිය

වර්තමාන ජාතික කොඩිය වශයෙන් භාවිත කරන තීරු සහිත කොඩිය 1949 නිර්මාණය කරන ලද්දකි. ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය හා අභිමානය පිළිබිඹු කරන ලෙස ජාතික සංකේත භාවිත කරමින් කරන ලද නිර්මාණයකි. 

ජාතික කොඩියේ වර්ණ හා සංකේත මගින් පිළිබිඹු කරන අර්ථ නිරූපණය 


  • කඩුව අතින් ගත් සිංහයා - තේජස හා උත්තරීතරභාවය
  • අසිපත - පරමාධිපත්‍යය
  • බෝකොළ සතර - සතර බ්‍රහ්ම විහරණ (මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා)
  • රඹපාට තීරුව - ද්‍රවිඩ ජනතාව
  • කොළපාට තීරුව - මුස්ලිම් ජනතාව
  • තද රතුපාට පසුබිම - සිංහල ජනතාව

සෙංකෝලය





සෙංකෝලය පාර්ලිමේන්තුව තුළ කතානායකවරයාගේ අධිකාරී බලය සංකේතවත් කරයි. එමෙන් ම එය සමස්ථ මන්ත්‍රී මණ්ඩලයේ බලතල පිළිබඳ සංකේතයක් ද වෙයි. සෙංකෝලය යන්න බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව 1949 දී මෙරට පාර්ලිමේන්තුවට හඳුන්වා දෙන ලද්දකි. මෙම සෙංකෝලයේ සැලසුම නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවනුයේ එස්. පී. චාර්ල්ස් ශූරීන්ට ය.


1947 එස්. පී. චාර්ල්ස් විසින් අඳින ලද සැලසුම් අනුව මෙම සෙංකෝලය නිර්මාණය කරන ලද්දේ බි්‍රතාන්‍ය රාජකීය ආභරණ නිෂ්පාදන සමාගමක් විසිනි. සෙංකෝලය සැලසුම් නිර්මාණය කිරීමේ දී දේශීය අනන්‍යතාව මනාව ප්‍රදර්ශනය කරන සාම්ප්‍රදායික සැරසිලි රටා හා ආකෘති භාවිත කර තිබේ. සෙංකෝලය දිගින් සෙ.මි 122 ක් වන අතර මෙම නිර්මාණය සඳහා රන් රදී මැණික් මෙන් ම මිට සාදා ගැනීම සඳහා කළුවර ලී භාවිත කොට ඇති බව දැකිය හැකි ය. කළුවර ලීයෙන් තැනූ මිට මධ්‍යයේ බිනර මල හා පලා පෙති රටාවලින් අලංකාර කර ඇත.  කළුවර මිටට ඉහළින් පොළොන්නරු සම්ප්‍රදාය අනුව රන් හා රිදියෙන් කළ කුළුණු හිසකි. එහි මුල මැණික් ඔබ්බවා ඇති මුතු දැල් රටාවකි. කුළුණු හිස මත මහනුවර සම්ප්‍රදාය අනුව රිදියෙන් කළ නෙළුම් මල සහිත පේකඩයකි. (එය හිඳගල විහාරයේ පේකඩවල ආභාෂය සහිත වේ.)


පේකඩයට පසු රිදියෙන් කළ ඝනකයකි. එහි සිව් පස සදාකාලිකත්වය, සාධාරණත්වය, සෞභාග්‍යය සංකේතවත් කරමින් ඉර, හඳ, ධර්ම චක්‍රය හා පුන්කලස ද කැටයම් කර ඇත. ඝනකය මත සෙංකෝලයේ ප්‍රධාන කොටස වන රිදයෙන් කළ සෙ. මී. 15ක් විශ්කම්භයෙන් යුතු ගෝලයකි. එ මතු පිට කඩුවක් අතින් ගත් සිංහරුවක් අල්ප උන්නත ව නිර්මාණය කර ඇත. ගෝලයේ ඉහළ හා පහළ රිදියෙන් හා රනින් කළ පලා පෙති (නෙළුම් පෙති) රටාවකි. ඊට ඉහළින් කේතුකාකාර අටැස් පළිඟූවකි. එය චෛත්‍යයක කොත මුදුනේ ඇති චූඩා මාණික්‍ය හැඩය ගනියි. එය නිර්මලත්වය හා උත්තරීතර බව සංකේතවත් කරයි.


මෙවැනි ස්වරූපයක් සහිත සෙංකෝලය සිංහල රාජ සභාවේ දී භාවිත කළ යෂ්ඨිය, සෝළු ලීය, ලීලා දණ්ඩය යන නම්වලින් හැඳින් වූ නිර්මාණයට සමාන වේ.